දකුණු ආසියාවේ ප්‍රතිමා කලාව
අආඇ / From Wikipedia, the free encyclopedia
පළමු හඳුනාගත් ඉන්දියානු උපමහාද්වීපයේ ප්‍රතිමා හමුවන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙනි (ක්‍රි.පූ. 3300–1700). මේවා වර්තමාන පාකිස්ථානයට අයත් මොහෙන්ජො-දාරෝ සහ හරප්පා යන ස්ථානවලින් හමුවේ. මේ අතරට මොහෙන්ජො-දාරෝවේ සුප්‍රකට කුඩා ලෝකඩ නළඟන ප්‍රතිමාව ද වේ. කෙසේනමුත් මෙවැනි ලෝකඩ සහ ශෛලමය ප්‍රතිමා විරළ අතර, මැටියෙන් තැනූ රූප සහ ශෛලමය මුද්‍රා බහුලව දක්නට ලැබේ. මෙම මුද්‍රා තුළ සත්ත්ව රූප හෝ දේවතා රූප සියුම් ලෙස කැටයම් කොට ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පසු, බෞද්ධ යුගය තෙක්ම ප්‍රතිමා පිළිබඳ හමුවන්නේ සාධක අල්ප වූ සංඛ්‍යාවකි. මේ අතරට දායිමාබාද් වලින් හමුවූ ක්‍රි.පූ. 1500ට අයත් යැයි සැලකෙන ලෝකඩ රූප (තරමක් මතභේදාත්මක ය) අයත් වේ.[2] මේ නිසා ඉන්දියානු ශෛලමය ස්මාරක ප්‍රතිමා ශිල්පයේ මහා සම්ප්රදාය ඇරඹෙන්නේ සාපේකෂව පසුකලෙක බව පෙනේ. මෙය ක්‍රි.පූ. 270 සිට 232 දක්වා වූ අශෝක අධිරාජයාගේ සමයේ සිදු විය. ඉන්දියාව පුරාම පිහිටුවන ලද ඔහුගේ රාජාඥාවන් ඇතුළත් අශෝක ස්තම්භවල ශීර්ෂයෙහි සිංහ රූප ඇතුළු ප්‍රකට සත්ත්ව රූ දැකගත හැක. මේ අතරින් වර්තමානයේ ශේෂව ඇත්තේ සයක් පමණි.[3] අලංකාර ප්‍රතිමා, බොහෝවිට උන්නත කැටයම් ස්වරූපයෙන් විශාල පරිමාණයෙන් හමුවන්නේ මුල්කාලීන බෞද්ධ ස්තූපවලිනි. මේ අතරින් සාංචි ස්තූපයට වැදගත් ස්ථානයක් හමුවේ; මේවා දැව භාවිතයෙන් සිදුකළ නිර්මාණ සම්ප්රදායයන්ගෙන් සම්භවය වන්නට ඇතැයි සැලකේ. මෙම සම්ප්රදාය පසුව හින්දු ආගම විසින් ද අනුගමනය කරන ලදී.[4]
ක්‍රි.පූ. 2වන සිට 1වන සියවස දක්වා කාලයේ උතුරුදිග ඉන්දියාවේ වර්තමාන දකුණු ඇෆ්ගනිස්ථානය සහ උතුරු පාකිස්ථානයට අයත් භූමියේ ගන්ධාරය තුළ ග්‍රීක-බෞද්ධ කලාව උච්චත්වයට පත් විය. මෙකල බුදුන් වහන්සේගේ දිවියේ සිදුවීම් සහ ඉගැන්වීම් කැටයම් කිරීම සිදු විය. ඉන්දියාව සතුව විශිෂ්ට ප්‍රතිමා සම්ප්රදායයක් පැවතිය ද, ග්‍රීක-බෞද්ධ යුගය තෙක්ම බුදුන් වහන්සේගේ රුව මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපණය කිරීමක් සිදු නොවී ය. මීට පෙර උන් වහන්සේගේ රුව සංකේතවත් කොට තිබුණේ සංකේත අනුසාරයෙනි. මෙය බොහෝ විට නූතන ඇෆ්ගනිස්ථානයේ ගන්ධාර බෞද්ධ ප්‍රතිමා තුළින් ග්‍රීක සහ පර්සියානු කලා ආභාසයන් නිරූපණය වීමට හේතු වන්නට ඇත. කලාත්මක ලක්ෂණ සැලකූ විට, ගන්ධාර ගුරුකුලයේ ප්රතිමාවල තරංගාකාර හිසකෙස්, දෙඋර වැසූ චීවරය, පාවහන් සහ මිරිවැඩි, ඇකැන්තස් පත්‍ර මෝස්තර වැනි අංග දැකගත හැක.
රෝස වැලිගලෙන් කළ ක්‍රි.ව. 1 සිට 3වන සියවස් දක්වා කාලයට අයත් මථුරාවේ බෞද්ධ, හින්දු සහ ජෛන ප්‍රතිමා තුළින් ස්වදේශික ඉන්දියානු කලා සම්ප්රදායයන් සහ ගන්ධාරයේ ග්‍රීක-බෞද්ධ කලාවෙහි දක්නට ලැබෙන බටහිර ආභාසයන්ගේ සම්මිශ්‍රණයක් දැකගත හැක. මෙය පසුව ඉන්දියානු ආගමික ප්‍රතිමා සම්ප්රදාය සඳහා පදනම දැමී ය.[5] මෙම කලා සම්ප්රදාය ගුප්ත අධිරාජ්‍යය (ක්‍රි.ව. 320-550 පමණ) යටතේ සංවර්ධනය වී ඉන්දියාව පුරාම ව්‍යාප්ත විය. මෙම යුගය ඉන්දියානු ප්‍රතිමා කලාවේ "සම්භාව්‍ය" යුගයක් ලෙස සැලකේ. මෙම යුගය තුළ මුල්කාලීන එල්ලෝරා ලෙන්[6] සහ තරමක් පසුකාලීන එලිෆන්ටා ලෙන් කැටයම් නිර්මාණය විය.[7] පසුකාලීනව හමුවන දැවැන්ත ප්‍රතිමා අතිශයින් ආගමික ස්වරූපයක් ගන්නා අතර, සාමාන්‍යයෙන් තරමක් සම්ප්‍රදායික අයුරින් නිර්මාණය කොට ඇති ඒවා වේ. මේවායේ බොහෝ විට දෙවිවරුන්ගේ සරල හිඳි ඉරියව්, ලාලිත්‍යමය ස්වරූපයෙන් යුත් අප්සරා රූ සහ යක්ෂි රූ වැනි පරිවාර කැටයම් දැකගත හැක. කැටයම් අතිශයින් විස්තරාත්මක වූ අතර, අධි උන්නත ස්වරූපයෙන් යුත් ප්‍රධාන රුවේ පසුබිම ඉන් අලංකාර කෙරිණි. දකුණු ඉන්දියාවෙන් හමුවන චෝළ රාජවංශයට (ක්‍රි.ව. 850–1250 පමණ) අයත් ලෝකඩ ප්‍රතිමා බොහෝවිට ආගමික පෙරහැරවල් සඳහා භාවිතා වී ඇත. මේ අතර ශිව දෙවියන්ගේ නටරාජා ස්වරූපය බහුලව දක්නට ලැබේ.[8] පල්ලව රාජවංශයට අයත් දැවැන්ත ග්‍රැනයිට් කැටයම් මහාබලිපුරම් ප්‍රදේශයේ දැකගත හැක.[9]
- "මොහෙන්ජො-දාරෝවේ නළඟන රුව", ක්‍රි.පූ. 3වන සහස්රකය (අනුරුවකි)
- සාරානාත්හි බුද්ධ ප්‍රතිමාවක්, ක්‍රි.ව. 5–6වන සියවස්
- ක්‍රි.ව. 970ට පමණ අයත් මුක්තේස්වර දෙවොල, ඕදිෂා
- එල්ලෝරාවේ කෛලාශ දේවාලය
- දර්ශීය මධ්‍යකාලීන පූර්ව දෙස බලා සිටගෙන සිටින විෂ්ණු ප්‍රතිමාවක්; ක්‍රි.ව. 950–1150
- ඛජුරාහෝවේ කැටයම්
- අප්සරාවක්, උත්තර් ප්‍රදේශ්, 12වන සියවස
- තමිල් නාඩුවේ චිදම්බරම්හි, තිල්ලෛ නටරාජා කෝවිලේ ගෝපුරය; තදින් ඇසිරුණු වර්ණාලේපිත ප්‍රතිමා තීරු ගණනාවකින් සමන්විත ය.