ඩී.එන්.ඒ.
From Wikipedia, the free encyclopedia
ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ල (i/diˈɒksɪraɪboʊnjuːkliːɪk,_ʔkleɪʔ/;[1] DNA) යනු දැනට හඳුනාගෙන ඇති සියලුම ජීවීන්ගේ සහ බොහෝ වෛරසවල වර්ධනය,විකසනය, ක්‍රියාකාරිත්වය හා ප්‍රජනනය සඳහා අවශ්‍ය වන ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයට දායක වන, එකිනෙක වටා ද්විත්ව හෙලික්සීය හැඩයකින් එතුණු දාම දෙකකින් (නියුක්ලියෝටයිඩ වලින් තැනුණු) යුක්ත අණුවකි. ඩිඔක්සි රයිබෝ නියුක්ලෙයික් අම්ල (DNA) සහ රයිබෝනියුක්ලෙයික් අම්ල (RNA) න්‍යෂ්ටික අම්ල වේ; එමෙන්ම, සියලු ජීවී ආකාරවල පැවැත්මට අත්‍යවශ්‍ය වන ප්‍රධාන මහාඅණු වර්ග හතර වනුයේ ද ප්‍රෝටීන, ලිපිඩ, සංකීර්ණ කාබෝහයිඩ්රේට (පොලිසැකරයිඩ) සහ න්‍යෂ්ටික අම්ල යි.
නියුක්ලියෝටයිඩ නම් සරල ඒකාවයවක ඒකක වලින් තැනී ඇති බැවින් DNA දාම දෙක පොලිනියුක්ලියෝටයිඩ ලෙස හැඳින්වේ.[2][3] එක් නියුක්ලියෝටයිඩයක් සමන්විත වන්නේ, නයිට්රජන් අඩංගු නියුක්ලියෝභස්ම (සයිටොසීන් [C], ගුවැනීන් [G], ඇඩිනීන් [A] හෝ තයිමීන් [T]) වර්ග හතරෙන් එකක්, ඩිඔක්සිරයිබෝස් සීනි අණුවක්, සහ පොස්පේට කාණ්ඩයකිනි. නියුක්ලියෝටයිඩ, දාමයක් ලෙස එකිනෙක හා සම්බන්ධ වී ඇත්තේ එක් නියුක්ලියෝටයිඩයක සීනි ඇනුව හා ඊළඟ නියුක්ලියෝටයිඩයේ පොස්පේටය අතර සහසංයුජ බන්ධන ඇතිවීමෙනි, එමඟින් මාරුවෙන් මාරුවට පිහිටන සීනි-පොස්පේට කොඳුනාරටියක් ඇති වේ. ද්විත්ව-දාම DNA සෑදීම සඳහා වෙනස් පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකක නියිට්රජනීය භස්ම එකට බැඳෙනුයේ, භස්ම යුගලන නීති (A සමඟ T සහ C සමඟ G) වලට අනුකූලව, හයිඩ්රජන් බන්ධන මගිනි.
අනුපූරක නයිට්‍රජනීය භස්ම පිරිමිඩීන හා පියුරීන ලෙස කාණ්ඩ දෙකකට බෙදේ. DNA වලදී, තයිමීන් හා සයිටොසීන් භස්ම පිරිමිඩීන වේ; ඇඩිනීන් හා ගුවැනීන් භස්ම පියුරීන වේ.වඩා විශාල අණුව පියුරීන වේ.
DNA ජීව විද්‍යාත්මක තොරතුරු ගබඩා කරගනී. DNA වල කොඳුනාරටිය බිඳවැටීම්වලට ප්‍රතිරෝධී වන අතර ද්විත්ව-දාම ව්‍යුහයේ දාම දෙකේම එකම ජීව විද්‍යාත්මක තොරතුරු අන්තර්ගත වේ. DNA වලින් විශාල කොටසක් (මිනිසාගේ 98% කටත් වඩා) කේත-රහිත DNA (non-coding DNA) වේ. එනම්, එම කොටස් තුළ ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ අඩංගු නොවේ.
DNA වල දාම දෙකක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට එනම්, ප්‍රතිසමාන්තරව ගමන් කරයි. නියුක්ලයෝභස්ම (හෙවත් භස්ම) වර්ග හතරෙන් එකක්, එක් සීනි අණුවක් සමග බැඳී ඇත. කොඳුනාරටිය දිගේ මෙම නියුක්ලියෝභස්ම පිහිටන අනුපිළිවෙළ තුළ ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත. DNA දාම පිටපත් කර RNA සෑදෙන අතර එම ක්‍රියාවලිය ප්‍රතිලේඛනය ලෙස හැඳින්වේ. ප්‍රවේණික කේතය (genetic code) අනුව, මෙම RNA දාම මගින් ප්‍රෝටීන තුළ ඇමයිනෝ අම්ලවල අනුපිළිවෙළ සවිස්තරව දැක්වීම සඳහා එය පරිවර්තනයට ලක්වන අතර එම ක්‍රියාවලිය පරිවර්තනය ලෙස හැඳින්වේ.
සූන්‍යෂ්ටික සෛලවල ඇති DNA සංවිධානය වී ඇත්තේ වර්ණදේහ නැමැති දිගු ව්‍යුහ ලෙසිනි. සාමාන්‍ය සෛල විභාජනයකට පෙර මෙම වර්ණදේහ DNA ප්‍රතිවලිත වීම නැමැති ක්‍රියාවලියක් මගින් පිටපත් වන අතර එමගින්, එක් දුහිතෘ සෛලයකට එක් සම්පූර්ණ වර්ණදේහ කට්ටලයක් බැගින් ලැබේ. සූන්‍යෂ්ටික ජිවීන් (සතුන්, ශාක, දිලීර සහ ප්‍රොටිස්ටාවන්) ඔවුන්ගේ DNA වලින් බොහෝ ප්‍රමාණයක් සෛලීය න්‍යෂ්ටිය තුළද සමහරක් මයිටකොන්ඩ්‍රියා සහ හරිතලව වැනි ඉන්ද්‍රයිකා තුළ ද ගබඩා කෙරේ. [4] එහෙත්, ප්‍රාග්න්‍යෂ්ටිකයින් (බැක්ටීරියා සහ ආකියාවන්) තම DNA ගබඩා කරනුයේ සෛල ප්ලාස්මය තුළ පමණි. සූන්‍යෂ්ටික වර්ණදේහ තුළ ඇති හිස්ටෝන වැනි ක්‍රොමැටින් ප්‍රෝටීන මගින් DNA සංයුක්ත කිරීම හා සංවිධනය කිරීම සිදුවේ. මෙම සංයුක්ත ව්‍යුහ මගින් DNA හා අනෙකුත් ප්‍රෝටීන අතර අන්තර්ක්‍රියා මෙහෙයවනු ලබන අතර, එමගින් DNA වල ප්‍රතිලේඛනය කළ යුත්තේ කුමන කොටස්ද යන්න පාලනය කිරීමට උපකර වේ.
DNA මුල්වරට නිස්සාරණය කරනු ලැබුවේ 1869 දී ෆ්රීඩ්රික් මීෂර් නම් විද්‍යාඥයා විසිනි. එහි අණුක ව්‍යුහය මුල්වරට හඳුනාගනු ලැබුවේ 1953 දී ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් නම් විද්‍යාඥයින් විසින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කැවෙන්ඩිෂ් විද්‍යාගාරයේ දී ය, ඔවුන් මූලාකෘති තැනීමට පාදක කර ගනු ලැබුවේ එවක රොසලින්ඩ් ෆ්රෑන්ක්ලීන් යටතේ පශ්චාත්-උපාධිය හදාරමින් සිටි ශිෂ්‍යයෙක් වූ රේමන්ඩ් ගොස්ලින්ග්ගෙන් ලබාගත් X-කිරණ විවර්තන දත්තයන්ය. පරීක්ෂකයන් විසින් ශක්තිපථ වාදය හා ප්‍රත්‍යාස්ථතා සිද්ධාන්තය වැනි භෞතික විද්‍යාත්මක නියම හා සිද්ධාන්ත ගවේෂණයේ දී, DNA අණුක උපාංගයක් ලෙස භාවිතා කරයි. DNA වල විශිෂ්ට අමුද්‍රව්‍යමය ගුණ නිසා එය අමුද්‍රව්‍ය පිළිබඳ විද්‍යාඥයන් ද මයික්‍රො- හා නැනෝ-ගෙත්තම්කරණය පිළිබඳ උනන්දුව දක්වන ඉංජිනේරුවන් ද අතර ආකර්ෂණීය අණුවක් බවට පත්වී ඇත. ක්ෂේත්රයේ වැදගත් දියුණුවීම් අතර DNA ඔරිගාමි හා DNA-මූලික දෙමුහුම් අමුද්‍රව්‍ය ප්‍රධාන වේ.[5]