ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය / From Wikipedia, the free encyclopedia
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 2022 ජුනි සහ ජූලි මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ටෙස්ට් තරග දෙකක් (වෝන්-මුරලි කුසලානය, ඉංග්‍රීසි : Warne-Murali Cup) එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් (අනුග්‍රාහක හේතුමත ෆෙයාර් ප්ලේ නිව්ස් කුසලානය, ඉංග්‍රීසි : Fair Play News Cup) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට (අනුග්‍රාහක හේතුමත ඩරාස් කුසලානය, ඉංග්‍රීසි : Daraz Cup) ක්‍රීඩා කිරීමටයි.[1][2] ටෙස්ට් තරඟමාලාව 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසකි.[3][4] ක්‍රිකට් පාලක මණ්ඩල දෙකම 2022 මාර්තු මාසයේදී මෙම සංචාරය තහවුරු කළේය.[5]
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022 | |||||
ශ්‍රී ලංකාව | ඕස්ට්‍රලියාව | ||||
දින වකවානුව | 2022 ජුනි 7 – 2022 ජූලි 12 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න (ටෙස්ට්)
දසුන් ශානක (එදිජා හා වි20ජා) |
පැට් කමින්ස් (ටෙස්ට්)
ආරොන් ෆින්ච් (එදිජා හා වි20ජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | දිනේෂ් චන්දිමාල් (219) | ස්ටීව් ස්මිත් (151) | |||
වැඩිම කඩුළු | ප්‍රභාත් ජයසූරිය (12) | නේතන් ලියොන් (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | දිනේෂ් චන්දිමාල් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (249) | ග්ලෙන් මැක්ස්වෙල් (160) | |||
වැඩිම කඩුළු | දුනිත් වෙල්ලාලගේ (9) | පැට් කමින්ස් (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුසල් මෙන්ඩිස් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ඕස්ට්‍රලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | චරිත් අසලංක (103) | ඩේවිඩ් වෝනර් (130) | |||
වැඩිම කඩුළු | වනිඳු හසරංග (5) | ජොෂ් හේසල්වුඩ් (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | ආරොන් ෆින්ච් |
ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 134ක සබඳතාවයක් ගොඩනැංවීමත් සමඟින් ඔස්ට්‍රේලියාව පළමු වි20ජා තරගය කඩුලු දහයකින් ජය ගත්තේය.[6] දෙවැනි වි20ජා තරගය කඩුලු තුනකින් ජයගත් ඔස්ට්‍රේලියාව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගමාලාව ජය ගත්තේය.[7] ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ නොදැවී ලබාගත් අර්ධ ශතකයකින් පසුව ශ්‍රී ලංකාව තෙවැනි වි20ජා තරගය කඩුලු 4කින් ජය ගත් අතර ඔස්ට්‍රේලියාව තරගමාලාව 2-1ක් ලෙස ජයගත්තේය.[8]
එදිජා තරගමාලාවේ ආරම්භක තරගයේ දී ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 51 කදී නොදැවී ලකුණු 80 ක්[9] රැස්කරමින් කඩුලු 2 කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය.[10] ඕස්ටේ්රලියාවේ පිතිකරණ බිඳවැටීමෙන් පසු ශ්‍රී ලංකාව දෙවැනි එක්දින තරගය ලකුණු 26කින් ජය ගනිමින් තරගමාලාව සම කිරීමට සමත් විය.[11] පැතුම් නිශ්ශංක සිය පළමු ශතකය වාර්තා කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාව ලකුණු 291/6 ක් ලබා ගත්තද තෙවැනි එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.[12] එය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම සාර්ථක ලකුණු හඹායාම වූ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන් එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් ඉහළම සාර්ථක ලකුණු හඹා යාමයි.[13] සිවුවැනි තරගය ලකුණු 4කින් ජයගත් ශ්‍රී ලංකාව 1992 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව තම මව්බිමේදී පැවැති පළමු එක්දින තරගාවලිය ජයගැනීමට සමත්විය.[14] ඔස්ට්‍රේලියාව පස්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගත් අතර ශ්‍රී ලංකාව තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේය.[15]
පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව එක් සැසියක් ඇතුළත දැවී ගියේය.[16] ඕවර 22.5කදී ලකුණු 113කට දැවී ගියේය.[17] ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් පමණක් අවශ්‍යව තිබියදී ඩේවිඩ් වෝනර් පන්දු 4කින් ජයග්‍රාහී ලකුණු රැස්කළ අතර තෙවැනි දිනයේ දිවා ආහාර විවේකයට පෙර ඕස්ට්‍රේලියාව කඩුලු 10කින් ටෙස්ට් ජයග්‍රහණය කළේය.[18] දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 39කින් ජයගත් ශ්‍රී ලංකාව තරගමාලාව 1-1ක් ලෙස සමකර ගත්තේය.[19] ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ඉනිමක ජයක් ලැබූ පළමු අවස්ථාව එය විය.[20] දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගයකදී සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ නොදැවී ලකුණු 206ක් රැස්කරමිනි.[21] ප්‍රභාත් ජයසූරිය මංගල තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ හොඳම පන්දු යැවීමේ ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ ලකුණු 177කට කඩුලු 12ක් ලබා ගනිමිනි.[22]